21 February 2016

අතීතය පිළිබඳ විමසා බැලීම: නායකත්වය ගැනීමට දැන් කාලය එළඹ ඇත.

Written by

නිදහස් දිනයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව විවෘත අදහස් දැක්වීමක් කළේය. ජනාධිපතිතුමා අවධාරණයෙන් කියා සිටියේ රටෙහි ස්වෛරීත්වය, නිදහස සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රැකගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කරන බවයි.

මෙම කථාව විවිධ අයුරින් අර්ථ නිරුපනය කර ඇත. ඇතැමෙක් එය මානව හිමිකම් කවුන්සිල වාර්තාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට රජයේ පුර්ණ කැපවීම පිළිබිඹු කරන්නක් ලෙස අර්ථ දක්වයි. අනෙක් පාර්ශවය මෙය අර්ථ දක්වන්නේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව මගින් රජය වෙත පැවරී ඇති වගකීමෙහි ඇතැම් කොටස් මග හරිනු පිණිස දුන් සංඥාවක් ලෙසයි.

අතීතයේ ගැටළු පිලිබඳව අප විසින් සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිතුමාගේ කතාවේදී එතුමා සඳහන් කළේය. එනම් ත්‍රස්තවාදයේ මූලය පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතු බවයි. කෙසේවෙතත් එතුමාගේ කතාවේ මගහැරුණු කරුණු බොහොමයක් විය. අප විසින් අතීතය පිළිබඳ විමසා බැලිය යුත්තේ ඇයිද යන කාරණය ජනාධිපතිතුමා ඇතුළු අනෙක් රජයේ නියෝජිතයන් විසින් වඩාත් පැහැදිලිව කරුණු සහිතව දැක්විය යුතුය.

ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ විමසා බැලීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ මහජනතාවගේ අදහස් සහ යෝජනා දැනගැනීමට රජය විසින් විශේෂඥයන්ගෙන් සමන්විත කාර්ය බලකායක් පත් කර ඇත. මෙම කාර්ය බලකාය සිය කටයුතු කර ගෙන යන අතරතුරදී රජයේ ජ්‍යෙෂ්ඨ මහජන නියෝජිතයෙක්ගේ නායකත්වය ඇතිව අතීතය පිළිබඳ සොයා බැලීමේ අවශ්‍යතාවය ජනතාවට අවබෝධ කර දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. අතීතය දෙස හැරී බැලීම පිළිබඳ ජාතික කතිකාවතක් ඇති කිරීම පිළිබඳව වන මේ වැදගත් කාර්යයත් කාර්ය බලකාය යටතටම පැවරීම සාර්ථක නොවේ.

මෙම කතිකාවත ඇති කිරීමේදී එය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව යන කරුණු හොවා දැක්වීමට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට යා යුතුය. දකුණේ බොහෝ දෙනා මෙම ක්‍රියාකාරකම දකින්නේ අන්තර්ජාතික පීඩනය නිසා සිදු කෙරෙන්නක් පමණක් ලෙසයි. මෙම ක්‍රියාවලිය අවශ්‍ය වන්නේ ඇයි දැයි යන කරුණු පිළිගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරයි. මෙම ක්‍රියාවලීන් බටහිර අරමුදල් වලින් බල ගැන්වුණු රාජ්‍ය නොවන සංවිධාන වල ඉල්ලීම් අනුව කෙරෙන කටයුතු සේ සලකා ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනා අතින් සිදු වේ. සත්‍ය සහ යුක්තිය ඉල්ලා සිටින වින්දිතයන් සිටින බව පිළිගැනීමට ඔවුන් කිසිදු කැමැත්තක් නොදක්වයි.

අප විසින් අතීතය විමසා බැලිය යුත්තේ ඇයිද යන කාරණයට අදාළ ප්‍රායෝගික හේතූන් රජය විසින් ඉදිරිපත් කිරීම වැදගත් වේ. එසේ කිරීමේදී රජය විසින් වින්දිතයන්ගේ පාර්ශවය පදනම් කොට ගෙන අදාළ හේතු දැක්වීම වඩාත් වැදගත් වේ. උතුරු නැගෙනහිර වින්දිතයන් පමණක් නොව දකුණේ සහ මධ්‍යම පළාතේ වින්දිතයන් ද මෙහිදී සැලකිය යුතුය.

සරලව කිවතොත්, අප විසින් අතීතය විමසා බැලිය යුතු වීමට පාදක වන වැදගත්ම කාරණය වන්නේ අතීතය පිළිබඳව සොයා නොබැලුවහොත් අතීතයේ සිදුවීම් වර්තමානය පාලනය කිරීම සිදු වීමයි. ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය පිළිබඳව අප අතර කිසිදු පොදු අවබෝධයක් නැත. විශේෂයෙන්ම යුද්ධය ඇරඹීමට හේතුව සහ එය දිගින් දිගටම පැවතීමට හේතුව යනාදිය තවමත් නොවිසඳුනු කරුණු ලෙසම පවතී. යුද්ධය අවසන් වූ අයුරු පිළිබඳව තවමත් පොදු එකඟතාවයක් නොමැත. විවිධ ජන කොටස් හා ප්‍රදේශ අතර දැඩි අවිශ්වාසයක් සහ අනවබෝධයක් පවතී. මෙවැනි දුර්විශ්වාසයන් නොකඩවා පැවතීමට අප විසින් ඉඩ තැබුවහොත් ඒවා අනාගත ගැටුමකට මග සලසන බීජ බවට පත් විය හැකිය.

අද වන විට දකුණේ, අප ජනවාරි 8 වන දින සහ එදින ඇරඹුණු ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තිය සමරන්නෙමු. කෙසේ වෙතත් උතුරේ සහ නැගෙනහිර ජීවත් වන ජනතාව එසේ සැබෑ වෙනසක් සිදු වී ඇත්දැයි දිගින් දිගටම ප්‍රශ්න කරයි. රජයේ චේතනාව පිළිබඳ අවිශ්වාසයක් ඔවුන් තුල හට ගෙන ඇත. ඔවුනට අයත් ඉඩම් යළි ඔවුන් හට ලබා දීමට, යුද්ධය නිසා අවතැන් වූ ජනතාව යළි පදිංචි කර වීමට සහ උතුරේ හමුදා අඩු කිරීමට සැබවින්ම රජය සුදානම්ද යන කරුණු පිළිබඳව මේ සැකය මතුව ඇත. අතුරුදන් වූවන්ගේ පවුල් වල සාමාජිකයන් තවමත් ඔවුන්ගේ ඥාතීන් සොයමින් සිටියි. එසේම තවත් බොහෝ දෙනෙක් අතීතයේ සහ මෑතකදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට යුක්තිය බලාපොරොත්තුවෙන් සිටිති.

ඒ හා සමානවම ත්‍රස්ත ප්‍රහාර සහ මරාගෙන මැරෙන බෝම්බ නිසා තම ආදරණීයයන් අහිමි වූ හමුදා සෙබළුන්ගේ සහ සාමාන්‍ය වැසියන්ගේ පවුල් වල සාමාජිකයෝ දකුණේ තවමත් වේදනා විඳිති. බොහෝ සාමාන්‍ය වැසියන් හට තවමත් රජය විසින් කිසිදු වන්දියක් හෝ මානසික හා සමාජීය සහයෝගයක් ලබා දී නොමැත.

රජය විසින් අතීතය විමසා බැලීමේ වැදගත්කම පහදා දීම පමා කරන තාක් කල් විවිධ මාධ්‍ය ආයතන සහ දේශපාලන කණ්ඩායම් වලට මෙම කතිකාවත සිය පාලනයට නතු කර ගනිමින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව නොමග යැවිය හැකිය. අතීතය පිළිබඳ විමසා බැලිය යුත්තේ ඇයිද යන කාරණය පිළිබඳව ජාතික කතිකාවතක් ඇති කිරීමේදී රජය ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකරමින් පාලනය රජය යටතට ගැනීමට දැන් කාලය එළඹ ඇත.

Additional Info

Aruni Jayakody

Aruni holds a Master of Arts in Law and Diplomacy from The Fletcher School at Tufts University (2013). Aruni obtained her Bachelor of Laws and Bachelor of Arts from the University of Queensland (2008). She was admitted to practice as a lawyer in Australia in 2009. Prior to joining SACLS, Aruni was based in Kabul, and worked on rule of law and governance issues at the Afghanistan Research and Evaluation Unit. She has also researched United Nations monitoring, reporting and fact-finding mechanisms at the Harvard Program on Humanitarian Policy and Conflict Research. In 2010-11 she researched constitutional reform and freedom of expression issues as a researcher at the Legal and Constitutional Unit of the Centre for Policy Alternatives.

Aruni’s states interests outside work are Biryani and Beyonce.