29 September 2015

ජිනීවා ක්‍රියාවලිය | මීළඟට කුමක් සිදුවේද?

Written by

ශ්‍රී ලකාවේ මානව හිමිකම් පිලිබඳ ගැටළු වලට අන්තර්ජාතික මැදිහත් වීම සම්බන්ධයෙන් පැහැදිලි පදනමක සිට මුලිකත්වය ගෙන කටයුතු කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව සමත් විය. වාර්තාවේ සඳහන් බොහෝ නිර්දේශයන් පුර්ව වශයෙන් යොදා ගැනීමට මංගල සමරවීර මහතා මෙම අවස්ථාව උපයෝගී කර ගත්තේය. එතුමා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ විස්තරාත්මක කතාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව තුල විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක් ඇති කිරීමට එකඟ විය. පසුව, ලබන සතියේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව සඳහා සම අනුග්‍රහය දැක්වීම මගින් තවදුරටත් රජය විසින් මෙකී පොරොන්දු ඉටු කිරීමට තමන් කැපවීමෙන් ක්‍රියා කරන බව පැහැදිලි ලෙස තහවුරු කරන ලදී.

වාර්තාව

ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් වාර්තාවේ අන්තර්ගතය කුමක් වේදැයි බොහෝ දෙනාගේ කතා බහට ලක් විය. බොහෝ දෙනෙක් උපකල්පනය කලේ මෙමගින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කිරීම හෝ ශ්‍රී ලංකාවේ නායකයින් විදුලු පුටුවට යැවීම හෝ ඔවුනට සංචාරක සීමා පැනවීම හෝ වරදකරුවන් නම් කිරීම හෝ ශ්‍රී ලංකාව මත ආර්ථික සම්බාධක පැනවීම සිදු කරනු ඇති බවයි. එහෙත් එවන් කිසිදු කරුණක් මෙම වාර්තාවේ අඩංගු නොවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙම වාර්තාව මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස් කාර්යාලයේ කාර්ය පටිපාටියට අදාල නොවන්නක් බවයි. එතුමාගේ තර්කය වුයේ මෙම කොමිසම ස්වාධීන විද්වත් කමිටුවකින් සමන්විත නොවූ බවයි. මෙය කිසිසේත්ම නිවැරදි නොවේ.

2014 වර්ෂයේ ජුනි මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය විසින්, පරීක්ෂණය පැවැත්වෙන කාලය පුරාවටම උපදේශනයත් සහයෝගයත් සැපයීම සඳහා ෆින්ලන්තයේ හිටපු ජනාධිපති මර්ට්ටි අදිසාරි මැතිතුමා, නවසීලන්තයේ හිටපු මහාධිකරණ විනිසුරු සිල්වියා කර්ට්ව්රිට් මැතිනිය සහ පකිස්ථානයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිතුමිය අසමා ජන්ගිර් මැතිනියගෙන් සමන්විත ත්‍රි පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරන ලදී.

2002 වසරේ සිට 2011 දක්වා කාලය මෙම වාර්තාව මගින් ආවරණය වේ. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ තුල මෙන්ම ඉන් පිටතත් මෙම වාර්තාවෙන් ආවරණය වී ඇත. එම නිසා මෙම වාර්තාව සාධාරණ හා තුලනාත්මක එකක් ලෙස හැදින්විය හැකිය. පරීක්ෂණ වාර්තාව තරයේ අවධාරණය කර සිටින්නේ එමගින් සිදු කරනු ලැබුයේ මානව හිමිකම් පරීක්ෂණයක් මිස අපරාධ විමර්ශනයක් නොවන බවයි. එවන් සිදුවීම් පිලිබඳ තීරණය කිරීම වාර්තාව මගින් අධිකරණ පද්ධතියට ඉතිරි කර ඇත.

වාර්තාවේ බොහෝ සොයාගැනීම් මාධ්‍ය මගින් ආවරණය කර තිබුනද ඇතැම් සොයා ගැනීම් එසේ මාධ්‍ය මගින් ආවරණය කර නොමැත. එල්.ටී.ටී.ඊ යට එරෙහි සොයා ගැනීම් අතර ඇත්තේ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පමණක් නොවේ. එල්.ටි.ටි.ඊ ය විසින් මැදහත් ජනතා නායකයින් ඝාතනය කිරීම පිළිබඳව වාර්තාව දීර්ඝ ලෙස කරුණු සොයා ගෙන තිබේ. මරාගෙන මැරෙන බෝම්බ යොදාගැනීම් සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය කිරීම් මෙන්ම බලහත්කාරයෙන් බඳවා ගැනීම් සහ ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීම මෙම සොයා ගැනීම් අතර වේ. එල්.ටි.ටි.ඊ ය විසින් පැහැදිලිවම සංචරණය කිරීමේ නිදහස සීමා කිරීමේ වැඩපිළිවෙලක් ගෙන ගිය බව පැහැදිලි වේ. 2009 වසරේදී කිසිවකුටත් යුද්ධය පැවති ප්‍රදේශ වලින් පිටත යාමට ඉඩ නොදී, එසේ යාමට උත්සහ කල කුඩා දරුවන් ඇතුළු සියලුදෙනා වෙඩි තබා ඝාතනය කිරීම නිසා තත්වය වඩාත් දරුණු වූ බව වාර්තාවේ සොයා ගැනීම් වල දැක්වේ.

රජයේ පාර්ශවයන් යුද්ධය පැවති ප්‍රදේශයන් තුල හා ඉන් පිටත සිදු කල ක්‍රියා පිලිබඳ සොයාගැනීම් වාර්තාවේ අඩංගු වේ. යුද්ධය පැවති ප්‍රදේශයන්ගෙන් පිටතදී කාන්තා හා පිරිමි යන පාර්ශව දෙකටම එරෙහිව සිදු වූ කෘර වධ හිංසා හා ලිංගික වධ හිංසා පිළිබඳව සොයා ගැනීම් වාර්තාවේ අඩංගු වේ. රැඳවුම් බාරයේ සිටි සාක්ෂිකරුවන් විමර්ශන කණ්ඩායම් වලට පවසා ඇත්තේ ඔවුන් රඳවාගෙන සිට කාල පරිච්ඡේදයේදී ඔවුන් දිගින් දිගටම දුෂණය වූ බවත් ඇතැම් විට මාස ගණනාවක් තිස්සේ සමුහ දුෂණයන්ට පවා ලක් වූ බවයි. ඔවුනට සිදු වූ ලිංගික පීඩාවන් විස්තර කිරීමේදී විවිද අතවර සිදු කල අයුරුත් ඔවුන් විස්තර කර තිබිණ. ඇතුල් කලවා පෙදෙස් වලට පහර දීම හා පයින් ගැසීම, රහස් පෙදෙස් වලට මිරිස් කුඩු දැමීම, ලිංග ඉන්ද්‍රියන්ට වයර් ඇතුල් කිරීම මෙන්ම අඬු වැනි දෑ ගෙන කාන්තාවන්ගේ පියයුරු මිරිකීම වැනි වධ හිංසා ඒ අතර වේ. මෙවැනි ක්‍රියා සියල්ල අදුරු යුධ සමයේදී ත්‍රස්තවාදය පැරදවීමේ අරමුණින් කල නීත්‍යානුකුල ක්‍රියා ලෙස පසෙකලා අමතක කර දැමීම අපට කිසිසේත්ම කල නොහැකිය.

මේ සියලු දේ පිළිබඳව අනිවාර්යෙන්ම විමර්ශනය කල යුතුය. එසේ නොකළහොත් අපගේ ආරක්ෂක අංශයන්ගේ ස්වාධීනත්වයත් වෘත්තීය දක්ෂතාවයන් පිළිබඳව දිගු කාලීන විශ්වාසයක් ගොඩනැගීමට නොහැකි වනු ඇත.

වඩාත් පුදුමය දනවන සොයා ගැනීමක් වන්නේ යුද්ධයේ අවසන් සමයේ වන්නි ප්‍රදේශයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීම රජය විසින් සීමා කිරීමයි. එම කාලයේදී වන්නි ප්‍රදේශයේ ජීවත් වූ ජන සංඛ්‍යාව හා ඔවුන්ගේ අවශ්‍යතා පිලිබඳ, රජයේ නියෝජිතයන්, රජයේ වෛද්‍ය කණ්ඩායම් හා අන්තර්ජාතික මානුෂිය ආධාර සපයන ආයතන ආදියේ උපකාරයෙන්, ආසන්න වශයෙන් නිරවද්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව රජය සතුව පැවතුනි. එහෙත් අවශ්‍ය වූ ආධාර ප්‍රමාණය හා සසදන විට රජය විසින් ලබා දී ඇත්තේ ඉතාම අඩු ආධාර ප්‍රමාණයකි. යුද්ධය පවතී සමයේ රජය විසින් මානුෂීය ආධාර අවශ්‍ය ජනතාව ලෙස 70,000ක් ගණන් බල තිබුනද, යුද්ධය අවසන් වීමෙන් අනතුරුව 284,000 පමණ ජනතාව වන්නි ප්‍රදේශයෙන් මුදා ගැනින.

මෙම වාර්තාව බොහෝ දුරට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව සමග එකඟ වේ. එහෙත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව සඳහන් කරන්නේ වන්නි ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීමට සියලු පියවර ගත් බවයි. මේ අනුව බැලීමේදී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කරුණු සොයා බැලීම සඳහා අනුගමනය කල ක්‍රියා මාර්ග වල වලංගු භාවය පිලිබඳ ගැටළු මතු වේ.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව

මේ වන විට රජයේ එකගත්වයෙන් යුත් යෝජනා කෙටුම්පතක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව තුල ඇති වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් බොහොමයක් එමගින් පිළිගෙන ඇත. එහිදී 19 ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන් සඳහන් කර ඇත. එසේම විවිධ ආකාරයේ නීති උල්ලන්ඝනයන්ට වඩාත්ම වගකිව යුතු පාර්ශවයන් වගකීමෙන් බැදීම සඳහා විශ්වසනීය යාන්ත්‍රණයක අවශ්‍යතාවය එමගින් අවධාරණය කර ඇත. එවන් යාන්ත්‍රණයක් මගින් අපචාරයන් වලක්වන අතරම, ගෞරවයෙන් හා වෘත්තීය දක්ෂතාවයෙන් යුතුව නීතියට අනුව ක්‍රියා කල ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ කීර්තිය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත. එල්.ටි.ටි.ඊ. ය විසින් සිදු කල උල්ලන්ඝනයන්ට එරෙහිව වගවීමේ ක්‍රියාවලියක් ඇති කිරීමේ අවශ්‍යතාවයද මෙමගින් හඳුනා ගෙන තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට මුලාරම්භයක් ලෙස මංගල සමරවීර මහතා විසින් විවිධ අංශ වලින් සමන්විත දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවට නිවේදනය කළේය. සත්‍ය සොයා බැලීමේ කොමිසමක්, විශේෂ පැමිණිලි මෙහෙයවීමේ කාර්යාලයක් හා හානි පුර්ණය කිරීමේ කාර්යාලයක් පිහිටුවීම ඊට අයත් වේ.

විදේශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ක්‍රියාමාර්ග එම යෝජනාවේ ක්‍රියාත්මක කිරීමේ කොටසින් පිළිගෙන තිබේ. එම සෑම ක්‍රියාවක් සඳහාම මහා කොමසාරිස් කාර්යාලය ඇතුළු අනෙකුත් අන්තර්ජාතික පාර්ශවයන්ගෙන් සහයෝගය ලබා ගැනීමට එයින් ඉඩ ලබා දී ඇත. දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම පිළිබඳ රජයට බලපෑම් කරනු වෙනුවට ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලියක් අනුගමනය සඳහා එම යෝජනාව මගින් රජය උනන්දු කර ඇත. එම නිසා ඕනෑම ක්‍රියාවලියක් ශ්‍රී ලාංකීය ක්‍රියාවලියක් වනු ඇත. කෙසේ වෙතත් එමගින් අවධාරණය කරනුයේ විශ්වසනීය ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේත්, විදේශීය විනිසුරුවරුන්ගේ, විත්තියේ නීතිඥවරුන්ගේ, පැමිණිලි මෙහෙයවන්නන්ගේ හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වය අවශ්‍ය වන බවයි.

නිගමනය

ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවට ශ්‍රී ලංකා රජය විසින් දැක්වූ ප්‍රතිචාරය ඉතාම වගකීම් සහගත සේම පරිනත විය. ශ්‍රී ලංකාව නැවත වරක් එහි ගෞරවාන්විතභාවය අන්තර්ජාතිකය ඉදිරියේ ආරක්ෂා කර ගැනීමට සමත් විය. කෙසේ වෙතත් තවත් කිරීමට බොහෝ දේ ඉතිරිව ඇත. මෙම නිර්දේෂයන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තවත් බොහෝ ගැටළු ඇති වීමේ ඉඩ කඩක් පවතී. මේ වනවිටත් විරුද්ධ පක්ෂ මේ පිළිබඳව සිය අදහස් දැක්වීම් ආරම්භ කර ඇත. රජය විසින් අන්තර්ජාතිකය සමග කටයුතු කල අයුරින්ම දකුණේ සිංහල ජනතාව සමගත් මේ පිලිබඳව පරිනත කතා බහක නිරත විය යුතු වේ. අතීතය පසෙකලා ප්‍රතිසන්ධාන ගත වීමේ වැදගත්කම ඔවුනට අවබෝධ කර දී, ඒ සඳහා මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන්හි වැදගත්කම එමගින් ඒ සියලු දෙනාට පැහැදිලි කර දීමේ කාලීන අවශ්‍යතාවයක් මේ වන විට මතු වී ඇත.

Additional Info

Dylan Perera

Dylan Perera has over fifteen years' experience working in senior management positions in the shipping and logistics industry, and later as a Director responsible for administration at Verite Research, Colombo. He holds a Master’s degree in Human Rights and Development from the University of Colombo. Dylan handles SACLS’ administration and finance.

Dylan is an accomplished thespian and reads everything he can find on history.