07 May 2016

සංක්‍රාන්ති යුක්තිය | ශ්‍රී ලාංකීය ජන මාධ්‍යයේ කාර්යභාරය

Written by

සංක්‍රාන්ති යුක්තිය සහ මාධ්‍ය පිළිබඳව කතා කරන විට, මාධ්‍ය ප්‍රධාන භූමිකා ද්විත්වයක් රඟ දක්වයි. පළමු අවස්ථාවේදී මාධ්‍ය යනු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ එක් විෂයකි. යුද්ධයක හෝ ඒකාධිපති පාලනයක අවසාන පරිච්ඡේදයේදී මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව අධ්‍යයනයක් කිරීම සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේදී අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස මාධ්‍ය විසින් ගැටුම් අවුළුවා ලීමට කටයුතු කලේද? එසේත් නැතිනම් ඒකාධිපතිපාලනය දිගින් දිගටම රට තුල පවත්වාගෙන යාමට මාධ්‍ය විසින් උපකාර කලේද? යන්න පිළිබඳව සොයා බලා එහිදී මාධ්‍යයේ හැසිරීම එකී ගැටුම හෝ ඒකාධිපති පාලනය දිගින් දිගටම පවත්වාගෙන යාමට දායක වුවක් නම් එසේ හැසිරුණු මාධ්‍යය පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු වේ. ඒවා යලි සිදු නොවීමට නීතිමය, ප්‍රතිපත්තිමය සහ අයතනිකමය ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගත යුතු වේ.

අනෙක් භූමිකාව නම් සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීමෙහිලා පහසුකම් සපයන්නෙක් ලෙස ජන මාධ්‍ය කටයුතු කිරීමයි. මාධ්‍ය විසින් සංක්‍රාන්ති යුක්තියේ වර්ධනයන් පිළිබඳව වාර්තා කරමින් මහජනතාව දැනුවත් කරයි. එසේම ගැටළු සහගත අතීතය පිළිබඳව මහජනතාව හට විවාද කල හැකි වේදිකාවක් ලෙසද කටයුතු කර හැකියි.

සංක්‍රාන්ති යුක්තියේ අංගයක් ලෙස මාධ්‍ය ඍජුව සහ වක්‍රව යුද්ධයට දායක වූ අයුරු පිළිබඳව මාධ්‍ය විසින් ස්වයං විවේචනයක යෙදිය යුතු වේ. මාධ්‍ය විසින් මෙය සිදු කර ඇති ආකාරය පිළිබඳව උදාහරණ ලෝකයේ බොහෝ රටවලින් සොයා ගත හැකිය. උදාහරණයක් ලෙස රුවන්ඩාවේ ටුට්සි වරුන් ඝාතනය කිරීම සඳහා හුට්සු ජනතාව උසිගැන්වීම(පෙළඹවීම) යන වරදට රුවන්ඩාවේ මාධ්‍ය ඍජුවම වගකිව යුතු වරදකරුවන් ලෙස තීන්දු කරන ලදී. එක් සුවිශේෂී නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් රුවන්ඩාව වෙනුවෙන් වූ අන්තර්ජාතික අපරාධ විනිශ්චයාධිකාරය විසින් සමුල ඝතයකට හවුල් වීමට රුවන්ඩා වැසියන් උනන්දු කිරීමේ වරදට විධායක මට්ටමේ මාධ්‍ය නිලධාරීන් තිදෙනෙකු වරදකරුවන් කරන ලදී. තවත් අතකින් බැලූ විට මාධ්‍ය විසින් ගැටුම් උත්සන්න කිරීමෙහිලා වක්‍රාකාරව දායක වී ඇති බව පැහැදිලි වේ. මෙවැනි වක්‍රාකාර ක්‍රියාකාරකම් වලට නීතිමය වගකීමක් ආරෝපණය කල නොහැක.

1980 දශකයේ පේරු රාජ්‍ය ඉතා දරුණු ත්‍රස්ත කණ්ඩායම් දෙකක ගැටුම් වලට මුහුණ දුන්නේය. හිටපු ජනපති ෆුජිමොරිගේ රජය ඉතා දරුණු ක්‍රම වලින් ඊට ප්‍රතිචාර දැක්වීය. ඔහු විසින් පේරු රාජ්‍ය තුල හදිසි නීතිය ක්‍රියාත්මක කළේය. විරුද්ධ දේශපාලන පක්ෂ සියල්ල පීඩාවට පත් කළේය. සිවිල් නිදහස සහ මුලික මිනිස් අයිතිවාසිකම් සීමා කළේය. ඒ අතරතුරම හමුදාවට සිය අභිමතය පරිදි පාලනය ගෙන යාමට ඉඩ සලසා දුන්නේය. ෆුජිමොරිගේ දරුණු පාලන ක්‍රමය නිසා ඔහුට සාර්ථක ප්‍රතිපල ලැබිණ.“Shining path” නම් ප්‍රධාන ත්‍රස්ත කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලදී. එහි නායකයන් සාර්ථක ලෙස නීතිය ඉදිරියට ගෙනවිත් වරදකරුවන් කර දඬුවම් පමුණුවන ලදී. මෙසේ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමගම ෆුජිමොරි විසින් සිය පාලනය වඩාත් ශක්තිමත් කර ගත්තේය. හෙතෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටවුයේය. එසේම අධිකරණ පද්ධතිය ඇතුළු රාජ්‍ය ආයතන වල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා තිබු සියලු ක්‍රමයන් ඉවත් කළේය. ෆුජිමොරිගේ පවුලේ ඥාතීන් රාජ්‍ය ආයතන බොහොමයක තනතුරු ලබා ගත්තේය. ඔහුගේ පාලන සමයේදී ජනාධිපති ෆුජිමොරි විසින් බිය සහ පීඩනය පදනම් කරගත් සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපයෝගී කරගත්තේ ජන මාධ්‍යයි. ෆුජිමොරි විසින් ඔහුට පක්ෂපාති පුද්ගලයන් ප්‍රධාන මාධ්‍ය ආයතනයන්හි තනතුරු වලට පත් කළේය. එසේම විවේචනාත්මක මාධ්‍ය වාර්තාකරණය නැවත්වීම සඳහා ඔහු විසින් අල්ලස් ලබා දීමත් තර්ජන කර බිය වැද්දීමත් සිදු කළේය.

යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව ශ්‍රී ලාංකීය මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව එකී මාධ්‍ය ආයතන විසින් ගැඹුරු ලෙස සිතා බැලිය යුතුයි. මාධ්‍යන්ගේ තත්ත්වය පිළිබඳව ඉතා සීමාසහිතව බැලීමේදී පවා පැහැදිලි වන්නේ වරෙක මාධ්‍ය යුද්ධයේ වින්දිතයෙක් වී ඇති බවත් තවත් විටෙක යුද්ධය ඉදිරියට ගෙන යාමේදී පෙරගමන් සැපයුවෙකු ලෙස කටයුතු කර ඇති බවත් යන කාරණයි.

අනෙක් අතට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් යුද සමයේ ඍජු ඉලක්ක බවට පත් වී තිබිණ. මාධ්‍ය ආයතන වලට තර්ජනය කෙරුණු අතර මාධ්‍යවේදීන් හට තර්ජනය කිරීම, පහර දීම, පැහැරගෙන යාම සහ ඔවුන් මරා දැමීම ආදී කෘර ක්‍රියා සිදු කෙරින. මේ තත්ත්වය යුද්ධය අවසන් වීමෙන් පසුවද පැවතින. මාධ්‍ය වෘත්තිකයන් හට ක්‍රියා කිරීම සඳහා සුදුසු රටවල් වර්ගීකරණ දර්ශකයේ පසු ගිය දශක කිහිපය පුරාවටම ශ්‍රී ලංකාව වර්ග කර තිබුනේ ලෝකයේ රටවල් අතරින් මාධ්‍යවේදීන්ට කටයුතු කිරීම සඳහා අනතුරුදායක බව වැඩිම රටවල් අතරටයි.

එසේම යුද්ධය අතරතුර සහ යුද්ධය අවසාන කාලයේ මාධ්‍ය ආවරණයන් පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී අනාවරනය වන්නේ ජන මාධ්‍යයද යුද්ධයට වැදගත් දායකත්වයක් සපයා ඇති බවයි. උදාහරණයක් ලෙස යුද්ධයේ අවසාන සමයේ සිංහල, ඉංග්‍රීසි සහ දමිල පුවත්පත් වාර්තා සසඳා බැලීමේදී පැහැදිලි වන්නේ යුද්ධය පිළිබඳව මේ එක් එක් පුවත් පත් වාර්තා කල අයුරු එකිනෙකට වෙනස් වන බවයි. ජනවර්ගය සහ භාෂා භාවිතය අනුව ශ්‍රී ලාංකිකයන් හට යුද්ධය පිලිබඳ විවිධ ලෙස වෙනස් වූ තොරතුරු දැන ගන්නට ලැබිණ. එම නිසා අද දක්වාම යුද්ධයේදී සිදු වුයේ මොනවාද යන කාරණය දැඩි ලෙස විවාදයට බඳුන් වන කාරණාවක් ලෙස නොවිසදී පවතී.

සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය පිලිබඳ විවාදයකට ශ්‍රී ලංකාව සුදානම් වන මේ මොහොතේ ජන මාධ්‍ය විසින් ඔවුන් අතීතයේදී රඟ දැක්වූ භූමිකාව සහ වැරදි සිදු වුයේ නම් ඒවා අනාගතයේදී නිවැරදි කරගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අධ්‍යනය කර බැලීම ඉතා වැදගත් වේ. අනාගතයේදී නිරවද්‍ය සහ තුලනාත්මක වාර්තාකරණයක යෙදීමට නම්, ජන මාධ්‍ය ආයතන විසින්, අතීතයේදී තමන් සිදු කල වැරදි අවබෝධ කොට ගෙන ඒවා නිවැරදි කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වේ.

Additional Info

Aruni Jayakody

Aruni holds a Master of Arts in Law and Diplomacy from The Fletcher School at Tufts University (2013). Aruni obtained her Bachelor of Laws and Bachelor of Arts from the University of Queensland (2008). She was admitted to practice as a lawyer in Australia in 2009. Prior to joining SACLS, Aruni was based in Kabul, and worked on rule of law and governance issues at the Afghanistan Research and Evaluation Unit. She has also researched United Nations monitoring, reporting and fact-finding mechanisms at the Harvard Program on Humanitarian Policy and Conflict Research. In 2010-11 she researched constitutional reform and freedom of expression issues as a researcher at the Legal and Constitutional Unit of the Centre for Policy Alternatives.

Aruni’s states interests outside work are Biryani and Beyonce.