24 January 2016

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ අන්තර්ජාතික සම්මුතිය : ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම.

Written by

දශක ගණනාවක් පුරා කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස, පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වන දින ලෝක මානව හිමිකම් දිනය සමරමින්, ලංකා රජය විසින් “බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම පිලිබඳ අන්තර්ජාතික සම්මුතිය”ට අත්සන්කරන බවට නිවේදනය කළේය. මෙය, මෙතෙක් කල් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් පීඩාවට පත් වින්දිතයන් හා ඔවුන්ගේ පවුල්වල අය ලද සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කරයි. සම්මුතියට අත්සන් තැබීම මගින් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රථිපල රැසක් හිමිවන අතර අතීතය පසෙකලා අනාගතයට පිය තැබීමට එමගින් අපට මග පෑදී ඇත.

අර්බුදකාරී වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ සෑම කාල පරිච්ඡේදයක් පුරාවටම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ගැටළුවක් වී තිබිණ. මෙය ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙන්ම දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ ක්‍රමයක් ලෙස යොදා ගැණින. බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට ලැබුණු පැමිණිලි අතරින් දෙවැනියට වැඩිම පැමිණිලි සංඛ්යාවක් ලැබී තිබුනේ ශ්‍රී ලංකාවෙනි. එය දෙවැනි වුයේ ඉරාකයට පමණි. අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජනගහනය ඉතා අඩු වුවද බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරරුදන් කිරීම පිලිබඳ එසේ දෙවැනියට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබීම සැබවින්ම කම්පනයට හේතු වන කරුණකි. එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට අනුව ශ්‍රී ලංකාව තුල බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ වගකීම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ අනෙක් පැරාහමුදා කණ්ඩායම් වලට පැවරෙනු ඇති.

2015 වසරේ නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට වැටහී ඇත්තේ තවමත් රට පුරාම වින්දිතයන් පීඩා විදින බවයි. මේ වනවිට බූස්ස රැඳවුම් කදවුරේ වසර ගණනාවක් තිස්සේ නීතීඥ සහය ලබා ගැනීමට අවස්ථාවක් නොමැතිව සිටින රැඳෙවියන් හමුවීමට එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායම කටයුතු කලේය. එසේම ත්‍රීකුණාමලයේ නාවික හමුදා කඳවුරෙහි තිබු රහසිගත භූගත කඳවුරක් පිලිබඳ සාක්ෂි අනාවරණය කර ගැනීමටද මෙම කණ්ඩායමට හැකි විය.

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ රැසක් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ අඩංගු වී තිබිණ. ඉන් එකක් වුයේ ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිලිබඳ අන්තර්ජාතික සම්මුතිය සම්මත කිරීමයි.

මෙයට අත්සන් තැබීම ශ්‍රී ලංකාවට නොයෙක් ආකාරයෙන් වාසි දායක වේ. එය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ‘සන්තන අපරාධයක්‘ ලෙස හඳුන්වයි. බලධරියා විසින් ප්‍රතිචාර දක්වා අතුරුදන් කළ පුද්ගලයාගේ ඉරණම පිලිබඳ කරුණු පැහැදිලි කරන තෙක් එය අපරාධයක්ව පවතී. සම්මුතියට අනුව රැඳවියන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයද වින්දිතයන් වේ. එසේම එමගින් වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ශ්‍රී ලංකාවට වගකීමක් පවරනු ලබයි. රජය විසින් විමර්ශන පවත්වා, පැමිණි ගොනු කර බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ වරදකරුවන් හා ඔවුනට අනුබල දුන් අයවලුන් හට දඬුවම් පැමිණවිය යුතුය.

එසේම අනාගතයේ එවැනි බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු නොවීමට වග බලාගැනීම තහවුරු කිරීම සඳහා පියවර ගැනීමටද මෙම සම්මුතිය මගින් රජය වෙත වගකීමක් පවරා ඇත. රැඳෙවියන්ගේ නාම ලේඛනයක් පවත්වා ගෙන යාම සහ ඔවුන් නීත්‍යානුකුල ස්ථානයන්හි රඳවා තැබීම, ඒ අතර වේ. සෑම රැඳෙවියෙකුටම තම පවුලේ සාමාජිකයන් සහ නීතීඥවරුන් සමග සන්නිවේදනය කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. ඒ හා සමානවම රඳවා තබා ගැනීම පිලිබඳ තොරතුරු ලබා ගැනීමට රැඳෙවියන්ගේ පවුල් වල අයට සහ නීතිඥවරුන්ට අයිතියක් ඇත. ඔවුනට එරෙහිව වරදක් සිදු වී ඇති විටදී රැඳෙවියන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ටත් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලීමට හැකියාවක්ද මෙම සම්මුතිය මගින් ලබා දී ඇත.

සම්මුතියට අත්සන් තැබීම වැදගත් පියවරකි. කෙසේවුවද සාර්ථකව සම්මුතියේ ඵල නෙලා ගැනීමට නම් ශ්‍රී ලංකාව තවත් අමතර පියවර කිහිපයක් ගත යුතුව ඇත. සියල්ලටම පළමුවෙන් සම්මුතිය දේශීය නීති පද්ධතිය යටතේ බලාත්මක කල යුතු වේ. පැහැදිලිව කිවතොත් ශ්‍රී ලංකාව තුල බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම අපරාධ වරදක් ලෙස දේශීය නීතියට ඇතුලත් කර බලාත්මක කල යුතුය. බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස ඇතුලත් කිරීමේදී, ඊට කිසිදු ආකාරයක වරප්‍රසාදයක් හෝ ව්‍යවස්ථාපිත සීමා කිරීමක් අදාළ නොවන බව එම නීතියේ පැහැදිලිව සඳහන් විය යුතුය. එකී පනත තවදුරටත් සියලු ආකාරයේ අපරාධ වගකීම් ආවරණය කරමින්, අණ/ නියෝග දුන් පුද්ගලයා, උපකාර කල අයවලුන් සහ නොයෙක් ආකාරයෙන් එම වරද සිදු කිරීමට හවුල් වූ සියලු දෙනා ආවරණය කල යුතුය. එමගින් ඉතා පැහැදිලිව අණදෙන්නාගේ සහ ප්‍රධානියාගේ වගකීම හඳුනා ගත යුතුය.

තවදුරටත් මෙම අපරාධය විමර්ශනය සහ ඒ සම්බන්ධ නඩු පිලිබඳ කටයුතු කිරීම සඳහා රජය විසින් නීතිය ක්‍රයාත්මක නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන සෑම අංශයකටම අවශ්‍ය වන සම්පත් සපයා දීමට සහ ඔවුන්ගේ ශක්‍යතාවය ඔප්නැංවීමට කටයුතු කල යුතුය. විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය විමර්ශන කටයුතු සඳහා අවශ්‍යතරම් සම්පත් පහසුකම් සපයා දිය යුතු වේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් තවදුරටත් නිර්දේශ කර තිබු කරුණක් වන්නේ රැඳෙවියන් සහ ඔවුන් රඳවා සිටින ස්ථාන පිළිබඳව ඔවුන්ගේ ඥාති හිතමිතුරන්ට තොරතුරු ලබා ගත හැකි වන අකාරයේ මධ්‍යම දත්ත ගොනුවක් රජය විසින් ගොඩ නගා පවත්වා ගෙන යාමයි. එසේම රජය විසින් ගැසට් නිවේදනයක් මගින් මේ වන විට පවත්වාගෙන යන සියලු රැඳවුම් මධ්‍යස්ථාන වල තොරතුරු ප්‍රසිද්ධ කල යුතු බවත් සියලු නීති විරෝධී රැඳවුම් මධස්ථාන වසා දැමිය යුතු බවත් නිර්දේශ කෙරින. රැඳෙවියන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට මානසික සෞඛ්‍ය පහසුකම් සැලසිය යුතු බවද එහිදී නිර්දේශ වී තිබිණ. එහෙත් මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවමත් රජය විසින් පියවර ගෙන නැත.

එක්සත් ජාතීන්ගේ යෝජනාව යටතේ, රජය තවදුරටත් අතුරුදන් වුවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමට පොරොන්දු විය. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වලට යටත් වූ පුද්ගලයන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ කාණ්ඩයට අයත් සුවිශේෂී කොටසකි. මෙම යෝජිත කාර්යාලය පිලිබඳව තවමත් කිසිදු විස්තරයක් අසන්නට ලැබී නැත. වින්දිතයන්, ඔවුන්ගේ පවුල් වල අය, සිවිල් සමාජ සහ පොදු මහ ජනතාව මෙම කාර්යාලය කෙසේ විය යුතුද යන කාරණය පිලිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතා වදගත් වේ.

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ වගවීම සම්බන්ධයෙන් වඩා වැඩි ඉල්ලීම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත් වලිනි. කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම බලපෑ බවයි. ජනතා විමුක්ති පෙරමුණු කලබල සමය තුල දී ශ්‍රී ලංකාව තුල බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳව සිද්ධීන් ඉතා විශාල ගණනක් වාර්තා විය. දශක ගණනක් ගත වී තිබුනද මෙම ඓතිහාසික අපරාධයන්හි වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් අමතක කිරීම කල නොහැක්කකි. රජය විසින් අතුරුදන් වුවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමට උත්සහ ගන්නා නිසාවෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ ගැටළු වලට පිළිතුරු සැපයිය යුතුය.

Additional Info

Aruni Jayakody

Aruni holds a Master of Arts in Law and Diplomacy from The Fletcher School at Tufts University (2013). Aruni obtained her Bachelor of Laws and Bachelor of Arts from the University of Queensland (2008). She was admitted to practice as a lawyer in Australia in 2009. Prior to joining SACLS, Aruni was based in Kabul, and worked on rule of law and governance issues at the Afghanistan Research and Evaluation Unit. She has also researched United Nations monitoring, reporting and fact-finding mechanisms at the Harvard Program on Humanitarian Policy and Conflict Research. In 2010-11 she researched constitutional reform and freedom of expression issues as a researcher at the Legal and Constitutional Unit of the Centre for Policy Alternatives.

Aruni’s states interests outside work are Biryani and Beyonce.